Saturday, July 23, 2016

ගොඩයාගෙ රට ගමන් 1- බැංකොක්

මම ඉස්සෙල්ලාම පිටරට ගියේ තායිලන්තයට.-බැංකොක්.. මෙඩිකල් කොලේජ් එකේදී Dr දියනාත් සමරසිංහගෙන් ඇහුවා ඉස්සෙල්ලාම යන්න හොද රටක් කියන්න කියලා." උබ යනවානම් ඉස්සෙල්ලාම තායිලන්තයට පලයන් ලෝකෙ හැම අන්තයක්ම එකතැන බලාගන්න පුලුවන් " කිව්වා.ඒ කතාව ඇත්ත කියල ගිහිල්ල ආපුහාම තේරුනා.

ඒ කලෙ මට ඉස්සෙල්ලාම රට යන එක ප්රංශ භාෂාව වාගෙ. අපේ කවුරුවත් පිටරටත් නෑ. ගියපු අයත් ඒ ගොල්ලොන්ගෙ පුරාජේරැව කියනවා මිසක් යන හැටි කියාදෙන්නෙත් නෑ..අපි ඉතින් දිව්යලෝකෙ විස්තර අහනවා වාගෙ කට ඇරගෙන අහගෙන ඉන්නවා.
එකදවසක් පත්තරේ තිබ්බා Air Lanka එකේ මාස 6 කට කලින් ගත්තොත් රුපියල් 11,000 කට බංකොක් යන්න තියනවා කියලා.මායි නෝනයි රුපියල් 25000 ක් අරගෙන කොළඹ ගියා ටිකට් ගන්න. ඔපීස් එක තිබ්බෙ පිට්ටු බම්බුවෙ. එකට ගියාමත් රට ගියා වගෙයි. කොළඹ මස්සිනාත් ආව අපිත් එක්ක. ලස්සන නෝන කෙනෙක්ගෙ මේසයක් ඉස්සරහට ගිහිල්ල ටිකට් ඉල්ලුවා බැංකොක් යන්න. මූන දිහාවත් බලන්නේ නැතුව කොම්පුටරයෙන් මොනවාදො ගහලා දෙකටම 48000 යි කියලා කිව්වා. ඇහුවාම කියපි Tax නැතුවයි පත්තරේ තිබ්බෙ කියලා. මම වටපිට බලනකොට මස්සිනා එයාගෙ ක්රෙඩිට් කාඩ් එකෙන් ගාන ගෙව්වා. රට යන පලමු පාඩම ඉගෙන ගත්තා.

ටිකට් අරගෙන කැප්පෙටිපොලට ආවට පස්සේ කල්පනා කරා ඉතුරු වැඩ ටික කරගන්නේ කොහොමද කියලා.ඉන්ටෙර්නෙට් ගත්තා. පැයක් යනවා ලෝඩ් වෙන්න.එත් ටික ටික බලන්න පටන් ගත්තා. Wikitravel කියලා සංචාරකයන්ට හොදට විස්තර තියන website එකක් හම්බු උනා. ඉස්සෙල්ලාම නවාතැන.මට ඕන උනේ මගේ ගෙදර වගේ පහසුකම් තියන කාමරයක් විතරයි. මොකද අපි යන්නේ රට බලන්න මිසක පූල් එකේ නාන්න නෙවෙයි හින්දා.

හොයල බලනකොට හුගක් Backpakers ල ( අඩු වියදමෙන් ස්ංචාර කරන අය ) බැංකොක් ගියාම නවතින්නේ Khao San Road (Thai: ถนนข้าวสาร) වල.ලෝකෙ හැමරටකම backpackers ලා එතනට තමයි එන්නේ.හැමතැනම නවාතැන්, පුදුම කලබල වීදියක්, කෑම කඩ පාරදිගේටම. මම හිතුවා ඒ වීදියේ කලබල වැඩි හින්දා ඒ ලග තියන වීදියක නවාතැනක් හොයාගන්නවා කියලා. හෝටලයේ නම K.S. House (เคเอส เฮ้าส์), 133 Phra Sumen Rd (next to Siam Commercial Bank), +66 2 629-1763, [30]. යට තට්ටුවේ ඩෙන්ටල් ක්ලිනික් එකක්,උඩ තට්ටු
තුනේ හෝටලේ . වටේටම කෑම කඩ .ඊට පස්සෙ බැංකොක් ගිය හැම පාරම හිටියේ එතන තමයි. ඊට පස්සෙ online එකෙන් හෝටලය මුල දවස් තුනට වෙන්කර ගත්තා හොදනම් විතරක් ඉතුරු දවස් වලත් එහෙම ඉන්නවා හිතාගෙන.

දැන් ඉතින් රෑ දවල් ඉන්ටෙර්නෙට් එකේ වැඩ. කන තැන්, බලන තැන්. යන තැන්.කොහොම හරි ලයිස්තුවක් හදා ගත්තා. ඒ තැන්වල නම් තායි බාසාවෙන් print කර ගත්තා.බදුල්ල ලංකා බැංකුවෙන් සල්ලි මාරු කර ගත්තා.නිවාඩු අනුමත කරගන්නැත් එපැයි. නැත්නම් කැප්පෙටිපොල හොද ස්ටේශන් එකක් හින්දා කවුරුහරි පෙත්සමක් ගැහුවොත් ගෙදර තමයි ඇවිල්ලා ඉන්න වෙන්නේ.. . ඇයි වීසා. ඒකට කොළඹ දෙපාරක් ගියා .(දැන්නම් මොන කෙහෙල්මලකටවත් කොළඹ යන්නේ නෑ,online තමයි නැත්නම් මොකෙක් හරි යවලා ගෙන්න ගන්නවා..)

ගමන කිට්ටු වෙනකොට නෝනත් වැඩ පටන් ගත්තා, බඩු ලයිස්තු අම්ම තාත්තලාට,ලමයින්ට,පව්ලේ නෑදෑයින්ට, වටේ පිටේ අයට, ඉස්කෝලෙ, තවගොඩක්. ඇයි අපි යන්නෙ එහෙ හම්බුකරන්නනෙ. හැබයි මම කිව්වා කෝකටත් ටිකක් පරන ඇදුම් ටිකකුයි සපත්තුයි දාගෙන ගිහිල්ල විසිකරලා එමු අපේ ඇදුම් ගේන්න බෑග්වල ඉඩ නැතිඋනොත් කියලා . පස්සෙ අපිට එහෙමම කරන්න උනා..

ඉස්සෙල්ලාම එයාපෝට් එකට ගියාමත් වැඩ ගොඩයි.පැය හතරකට කලින් ගියා. Check-In , Customs, Immigration. පෝම් පිරවිලි. බඩත්ගිනියි. කෑම කඩ දෙක තුනක් තියනවා.ගිනි ගනන්..හැට හුට හමාරක් දේවල් පහුකරල නමෝ බුද්ධාය කියලා ප්ලේන් එකට නැග්ගා.
එයාපෝට් එකේදිත් බඩගිනි උන හන්දා හිතාගෙන ගියෙ බඩ පැලෙන්න කන්න. ඉස්සර අහල තිබ්බෙ ප්ලේන් එකේදී 5 star කෑම දෙනවා කියලා. ඇතුල කුකුල් කූඩුවක් වගෙ. ඉස්සර ස්කෝලෙ යන කාලෙ ඊබට් සිල්වා බස් එකේ Air Lanka වැඩට ගිය රූපරැජිනියො වෙන තැන්වල වැඩට ගිහිල්ලා ජිම් වලට යන්න ඕනි නෝනල ටිකක් කෑම දුන්නා.බත් හැදි දෙකයි කුකුල් මස් කෑල්ලයි,තව මොකක්ද තිබ්බ. වතුර දුන්නෙ බෙහෙත් වාගෙ . කනේ පුලුන් ගහගෙන චුවිංගම් හප හාපා සාධු කියලා තයිලන්තයට ගොඩබැස්සා..

අපිට බහින්න තිබ්බෙ Don Mueang එයාපෝට් එකට. මම හොදට ලෑස්තිවෙලා ගියෙ එත්න ඉදල හෝටලයට යන හැටි ගැන. කට පාඩම් . බස් එකේ නොම්මරයයි නගින තැනයි බහිනතැනයි තියන කොලේ අතේ. බහින්න ඉස්සෙල්ලා ස්පීකරයෙන් කිව්වා ස්වරනභූමි කතාවක්. මට තිබුනෙ බහින සිහිය හින්දා වැඩිය අහගත්තෙ නෑ.

“පුදනකොටම කාපි යකා” අපි බැහල තියෙන්නේ වෙන එයාපෝට් එකකට.බැංකොක් වල තිබ්බ Don Mueang එයාපෝට් එක ඉඩ මදි හින්දා Suvarnabhumi කියලා එයාපෝට් එකක් හදලා ඉස්සෙල්ලා දවසේ ඉදලා ප්ලේන් ඔක්කොටම එහාට බස්සන්න කියලා.. අපි යනකොටත් වැඩ ඉවර නෑ. හැබයි පිටකොටුව බස් ස්ටෑන්ඩ් එක වාගෙ.අදටත් ලෝකෙ ලොකුම එයාපෝට් එක.Suvarnabhumi is the largest airport in the world by total area of 2,980 hectares. [8](Wikipedia) ඒකෙ අපේ ප්ලේන් වලට තිබ්බ තැන කොහොමද කිව්වොත් ගේට්ටුවට එන්න හැතැක්ම දෙකක් විතර එන්න ඕනි.

කොහොමහරි එයාපෝට් එකෙන් පැන්න. බස් ස්ටෑන්ඩ් එක තියන තැන අහගත්තා. පොඩි වීදි කෑම (Street food )හැමතැනම. කෑම රසයි,ගදයි සෝස් ජාති දාල ( දැන් නම් ඒව නැතුව කන්න බෑ) බඩ පිරෙන්න කෑව. .හතර පස් දෙනෙකුගෙන් Khao San Road අහනකොට 511 Bus කියලා කිව්වා. රෑ 7.00 ට විතර Khao San Road ලගින් බැස්සුවා එතන ඉදලාත් සෑහෙන දුරයි හෝටලයට. අතෙ කොලේ තිබබට මොකාටවත් ඉංග්රීිසි බෑ කොලේ දැක්කම ඔලුව වනලා තැන ඇහුවහම ඔලුව කහ ගන්නවා. Taxi ගන්නත් බයයි කොහේ ගෙනියය්ද දන්නේ නැත් හින්දා. කොහොමහරි පයින්ම තඩි බෑග් එකක් උස්සගෙන පැයක් විතර ඇවිදලා හෝටලයට ආව. (ඊට පස්සෙ කවදාවත් රට යනකොට බෑග් ගෙනිච්චෙ නෑ පිටේ මල්ල විතරයි- Backpak)

දැන් වල්පල් ඇති, ගියපු තැන් දැක්ක දේවල් කියන්නම්.

අපි ඉස්සෙල්ලම ගියේ තායිලන්තයේ වැඩිම පිරිසක් නරඹන තැන බලන්න , Grand Palace. මම නම් දිග කලිසමක් ඇදලා ගියා. නෝනට රෙද්දක් එහෙන් දුන්නා. ටිකක් ගාන සැරයි .ලංකාවෙ මුදලින් රුපියල් 2500 ක් විතර එක්කෙනෙකුට.ඉස්සර රජ්ජුරුවො හිටපු මාලිගය.තයිලන්තයේ තාම රජ පෙලපත තියනවා. මාලිගය මේ රජ්ජුරුවන්ට ඉස්සෙල්ලා එක්කෙනාගෙ( King Rama I )අපලයි කියලා දීලා තියෙන්නේ. ඒ එක්කම Wat Phra Kaeo කියලා තයිලන්තයේ අල්ංකාරම හා වැදගත්ම පංසල තියනවා., ඒ පංසල ඇතුලේ පච්චවර්ණ පාශාණ (ජේඩ්) වලින් නිමවුනු තායි ජාතිකයන් වැඩියෙන්ම වන්දනා කරන බෞද්ධ ප්රයතිමාවක් (the Emerald Buddha), තියනවා. . මේ තැන් දෙකම හරිම අලංකාරයි ,. හැම තැනම බිතු සිතුවම්.බලන්න වරුවකට වැඩිය යනවා. හැම පැය දෙකකට වරක්ම නොමිලේ මගපෙන්වන්නෙක් ඒවා පෙන්නන්න එක්ක යනවා.නැත්නම් වෙනම සල්ලි දීල උනත් ගන්න පුලුවන්

දෙකම බලලා ඉවර වෙනකොට හවස 3.00 විතර ඇති ටිකක් දුර යනවා. උදේ හෝටලය ගාවින් යන බස්වල නොම්මර ලියාගත්තා, හෝටලයේ කාඩ් එකකුත් තියනවා, බය නෑ.ටිකක් වටපිටේ ඇවිදලා වීදි කඩේකින් කාල හවස 6.30 ට විතර 56 බස් එකට නැග්ගා. බස් එකේ ටිකක් දුර යනකොට බැලූ තැන අලුත් මල් මිටිගනන් තියන වීදියකට ආවා. නෝනවත් ඇදගෙන බස් එකෙන් බැස්සා.

මුලු තායිලන්තයෙන්ම දිනපතා බැංකොක් වලට ලොරි පුරවාගෙන එන එක එක මල් ජාති මෙතන තොග වශයෙනුත් සිල්ලරත් විකුනනවා.කඩ සිය ගානක්. බස් එකෙන් බහිනකොට අපේ නෝන ඉරාකෙට යනවා වගේ බය උනාට දැන් හදිස්සියක් නෑ. බොහොම අමාරුවෙන් 11.00 ට විතර එලියට ගත්තා.56 බස් එකට නැග්ගා. විනාඩි දහයෙන් හෝටලය ලග.

ඉතුරු ටික

නෝනල බැංකොක් යන්නෙ ෂොපිං( shopping )වලට මහත්වරු හොපින් (hopping) වලට , ඕකනෙ ඔක්කොම කියන්නෙ.

හුගක් අය බැංකොක් වලට ෂොපිං වලට ගියාට නවතින්නෙ සංචාරක උගුල් (Tourist Traps)වල. බැංකොක් වලට ලෝකයේ හැම රටකින්ම ධන කුවේරයො එනවා. ඒ ගොල්ලො යන කඩ වලට අපි ගියොත් සොරි තමයි. ඒත් අපිට සරිලන්න ඇදුම් , බඩු ගන්න තැන් ඕනතරම් තියනවා.යන්න ඉස්සෙල්ලා ඒ ගැන දැනගන ඉන්න ඕනි.

ලංකාවෙ හුගක් අය ෂොපිං යන්නෙ Pratunam Market එකට. රෙදි කඩ කාරයො වගෙ ගනන් හරියටම දන්නවා නම් හොදයි, නැත්නම් මුලදි ලොකු ගනනක් කියලා අඩුකරලා ගත්ත්ත් නියම ගානට වැඩිය වැඩියි. tourist guide ල ගෙනිච්චොත් උන්ටත් ගානක්.මම බඩු ගන්නවනම් යන්නේ Tesco Lotus , Big C වාගෙ hypermarketවලට. ඕනෑතරම් බඩු තියනවා. නියමිත ගනන්. ඊට අමතරව යන යන තැනවල් වල පාර අයිනෙ තායි ජාතිකයන්ට නොයෙක් බඩු කඩ. ඒවයෙනුත් ගන්නවා.ගොඩක් රෙදි ගන්නවා නම් Boebe Market කියලා එකක් තියනවා. ලංකාවෙ ගොඩක් රෙදිකඩ වලට ඇදුම් ගන්නෙ එතනින් . කඩ 1300 ක් විතර තියනවා. උදේම යන්න ඕනි .හුගක් තැන්වල3 ක් ගත්තොත් එකක් නිකම්. 6 ක් ගත්තොත් 3 ක් නිකම් 12ක් ගත්තොත් 12 ක්ම නිකම්.

බැංකොක් වල තව තව මාර්කට් ජාතිත් තියනවා.ඒවා හුගාක් තායි ජාතිකයන්ට. දිනපතා (Daily Markets) සතිඅන්ත (Weekend Markets) රාත්රීි (Night Markets ) ගංගාවල් ඇලදොලවල් වල (Floating Markets) ඒක වෙනම සංස්කෘතියක්, මාර්කට් ගිහිල්ලා කාල බීල එනවා. වෙච්චි ජරමර පස්සේ කියන්නම්,දැන් ඉස්සෙල්ලාම ගිය Weekend Market එක ගැන ඔන්න.

ගිය හතරවෙනි දවස සති අන්තයක්. දවස් තුනක් හිටියානෙ, දැන් ඉතින් තායිලන්තෙ ඉපදුනා වාගෙ වැඩ. නෝන තමයි කචල්. බර බරේ නොදන්න වැඩ කරන්න එපා කියල. අපි හිටපු තැන ලග MRT (The Metropolitan Rapid Transit), BTS Skytrain උඩින් යටින් යන කෝච්චි නෑ. බසුයි බෝට්ටුයි විතරයි ලග. බෝට්ටුවෙන් Mo Chit ස්ටේෂන් එකට. එතනින් Chatuchak Weekend Market Market එකට.

Mo Chit BTS station එකෙන් බැස්ස. මිනිස්සු යන්නෙ මෙහෙ මැයි දිනයට යනවා වගෙ. සාමාන්යියෙන් දවසකට ලක්ශ දෙකක් විතර එනවා. කඩ 8000 යි අක්කර 27 යි.ඇතුලෙ යන්න ඉලෙක්ට්රිlක් කෝචිචි තියනවා. රෙදි, අත්කම් බඩු, ලී බඩු, පැල ජාති , කලා නිර්මාන,සත්තු, පෞරානික බඩු වෙනවෙනම කොටස් වල. මට නම් අල්ලලා ගියේ සත්තුන්ගෙ කෑල්ල. නයි, මීයො, උගුඩුවො, පූසො, බල්ලො ඔක්කොම. . මටනම් බලු පැටියෙක් ගේන්නම ඕනකම තිබ්බා. ආයෙත් නෝන කචල් දැම්ම කස්ටම් ගැන කියලා. හිතෙ අමාරැවටත් එක්ක දූරියන් ටොපී බෑග් එකක් ගත්තා. එතන ඉදලා කැප්පෙටිපොලට එනකම්ම ගද. ඔක්කොටම දුන්න කවුරුවත් කෑවෙ නෑ.නෝන නම් ලිස්ට් එකට ගොඩක් බඩු ගත්ත. රෑට කාලම එහෙන් ආව.

දැන් හොපිං

බැංකොක් වල කාන්තාවො පිරිමින්ටත් වඩා ඉදිරියෙන්. හැම වැඩක්ම කරනවා,.හරිම කඩිසරයි.පනහකට හැටකට කන්න දෙන හෝටල් වල ඉන්නෙ දෙන්නයි. ඔක්කොම ඉස්සෙල්ල හදගෙන එනවා. එක්කෙනෙක් උයනවා, අනික් කෙනා බෙදනවා,ඉනේ බෑග් එකට සල්ලි ගන්නවා. රෑ දහය දොලහටත් කොටට කොටේ ඇදුම් ඇදගෙන බෝනික්කො වගේ ගෑනු ලමයි තනියම පාරෙ යනවා. (ලංකාවෙ නම් එහෙම ගියොත් ත්රී වීල් පාක් වල මල්ලිල හැරෙන විදිහට උලුක්වෙච්ච බෙල්ලවල් වලට බෙහෙත් කරලාම අපිට ගොඩයන්න තිබුනා.) ඒක ඒ ගොල්ලන්ට සාමාන්යා දෙයක්.

හැබයි ඒ ගොල්ලන්ගෙ වෘත්තීය ලිංගික සේවා සපයන අය ගොඩක් ඉන්නවා.කන්තා,පිරිමි සමලිංගික ද්විලිංගික ඔක්කොම. ඔය පතායා තමයි ලෝකයේ සමලිංගික අගනුවර කියන්නෙ..ඔක්කොම එකතු වෙන්නෙ එතනට. අනික් ඒවාත් තියනවා.බැංකොක් ගත්තහම ඒවට වෙනම වීදි තියනවා. ඒවායෙ වැඩකරන හුගාක් ගැහැනු අය තායිලන්තයේ දුප්ප්ත් දුර ගම්මාන වලින් පැමිනෙන අය. . ඒ ගොල්ලො ටිකකලක් ඉදල කීයක් හරි හොයාගෙන ආපහු යනවා.ඒ වීදි වලට සාමාන්ය්යෙන් තායි ජාතිකයන් යන්නේ නෑ. රෑ වෙනකොට පාර දෙපැත්තෙ කාන්තාවන් ඉන්නවා. ඇතුලෙ කොරකෙ බාර්.ඒවයෙ ජංගි කොට ඇදගෙන සුද්දන්ට බියර් වක්කර වක්කර ඉන්න ගැහැනු ගොඩයි.

සුද්දො ඉතින් ඔහොම ඉදල වෙරි වෙලා බාර් එකටත් ගානක් දීල එක එක්කෙනා එක්කරගෙන යනවා. ඔයගොල්ලො දැකල ඇතිනෙ එහෙම සුද්දො ලංකාවටත් එක්කරගෙන ඇවිත් ඉන්නව.ඕව හැම රටකම තියනවා.තායිලන්තෙ වගෙ රටක් ඒ මිම්මෙන් විතරක් මනින එක නම් අපරාධයක්.

දවස් හය හතක් යනකොට ඇවිදල හොද ගනං . කකුල් රිදෙනව. නෝන එහෙදී අලුතින් ගත්ත සෙරෙප්පු දෙකත් ගෙවිල විසිකරා. හෝටලය වටේ විතරක් ඇවිදිමු කියල හිතුවා. අපේ හෝටලය වටේ වැඩියෙන්ම තියෙන්නෙ බියුටි සැලූන්, දත් හදන සුදු කරන ,කන්නාඩි සාප්පු වගේ තැන්.සුද්දොයි තායි ජාතිකයොයි කවලමේ එනවා.පොඩි දුරක් යනකොට අපේ නෝනට ඕන උනා පේෂියල් එකක් ගන්න. ගනං කතා කරගෙන ඇතුලට ගියා. මම සාලෙ. මෙට්ට එහෙමත් දාල තිබුනා.ටික වේලාවකින් ලස්සන ගෑනු ලමයෙක් ඇවිල්ල මසාජ් හැව් කිව්ව. ( ඒ වෙනකොට මම බාශාව ඉගෙනගනයි තිබුනේ, අපිට උගන්නපු ඉංග්රීසි වලින් What is your name කියලා ඇහුවහම What is කියන්නෙ මොනවටද කියලා දහ අතේ කල්පනා කරනවා. Yes Have; No Have අතින් පයින් හොදටම ඇති.) මමත් ඕන කෙහෙම්මලක් කියලා යෙස් හෑව් කිව්වා. අවුරුදු 60 ක විතර ගෑනු කෙනෙක් ඇවිල්ලා කකුල් දෙක තෙල් ගාලා පිළිවලට මසාජ් කරා. ඒ තායිලන්ත්යේ පාරම්පරික සම්භහන ක්රමය.උගන්නන්නේ පන්සල් වල. හැබයි තිබ්බ අමාරුව කොහෙන් ගියාද නෑ, තව ද දවස් ගානක් උනත් ඇවිදින්න තිබ්බා.

දැන් ඉතින් කාමරේ බඩු පිරෙනවා. ඉස්සෙල්ලා බිම. පස්සෙ ඒව ඇද උඩ , නිදාගන්නත් දැන් ඉතින් කාමරේ බඩු පිරෙනවා. ඉස්සෙල්ලා බිම. පස්සෙ ඒව ඇද උඩ , නිදාගන්නත් තියෙන්නෙ ඉඩ ටිකයි.පොඩි බෑග් මදි උනාම ලොකු බෑග් ගත්තා. සපත්තුම ගෝනියයි. ඒක ල්ංකාවෙ කස්ටම් එකේදී ඇදල පෙන්නන්න ලෑස්ති උනාම කස්ටම් ඔපිසර් පාස්පෝට් බලන්නේ නැතුවම කිව්ව අදින්න ඕන නෑ ඩොක්ටර් පලවෙනි වතාවට නේද රට ගිහින් එන්නේ කියලා.. එහෙම බඩු ගෙනාපු පලවෙනි වතාවත් අන්තීම වතාවත් ඒක.

බැංකොක් ගැනත් තායිලන්තය ගැනත් කියන්න ගොඩාක් දේවල තියනවා විශේෂයෙන්ම පස්සෙ ගියපු රට තුල දේවල් . පුදුම විවිධත්වයක් තියෙන්නේ. ගිය හැම තැනම විවිධ අත්දැකීම්.ඒත් මේ පෝස්ට් එක ඇදීගෙන යනවා කියලායි හිතෙන්නේ.ඔයගොල්ලොන්ට මට කියන්න තියෙන්නෙත් මට Dr දියනත් කිව්ව දේමයි.

ගිහිල්ල නැත්නම් යන්න.ලෝකෙ හැම අන්තයක්ම එතනදී බලාගන්න පුලුවන්.

No comments:

Post a Comment