ආයෙත් කතාවක් ලියන්න හිතුනා.මේ සිද්දි උනෙත් අනුරධපුරේදී. මම ඉස්සෙල්ලා
කිව්වා වගේ රෝයි පෙරෙරායි කුලවංශයි අපිත් එක්ක හිටියා.රෝයි ඊට ඉස්සෙල්ලා
වැඩ කලේ පදවි සිරිපුර . ග්‍රාමීය රෝහලේ, කුලවංශ පදවි පරක්‍රමපුර C D එකේ.
දෙන්නම ජයට Private Practice කරලා තියනවා. DHO ට ගැහුවේ නැත්නම් අදත් රෝයි
ඉන්නෙ එංගලන්තෙ නෙවෙයි පදවි සිරිපුර. කුලවංස වෙනුවට එහෙ ගියෙ අපේ බැචා
පැරකුම් මෙන්ඩිස්. මිනිහා රස්තියාදු ගැහුවා විතරයි හම්බුකරගන්න බැරි උනා.
ඒත් කුලවංශ කොහොම බෙහෙත් කරාද කිව්වොත් පැරකුම් ගිය දවසෙ ඉදලා ලෙඩ්ඩු ඇවිත්
කරදර කරනවලු ඉස්සෙල්ලා දොස්ත්ර මහත්තයා වගේ දත් ගලවලා දෙන්න කියලා. දවසක්
පැරකුම් අනුරාධපුරේ ආපු වෙලාවෙ කුලවංශගෙන් අහනකොට උබ දත් ගලවපු එකත්
පරක්‍රමපුරදී කරාද කියලා කුලයා කියාපි 'කරා තමයි නොකර බැරිකමට කියලා.එතකොට
තමයි කතාව දැන ගත්තේ.
වයසක ආච්චි කෙනෙක් හැමදාම බුරුල්වෙච්චි දතක
පෙන්නල කුලේගෙන් බෙහෙත් ගන්න අවාලු. දෙතුන් පාරක් බෙහෙත් දීලා දත
ගලවාගන්න කියලා තියනවා. ලගම දත් දොස්තර ඉන්නේ අනුරධපුරේ. දුර හැතැක්ම 70 කට
වැඩියි.ආච්චි කොහොමද අනුරධපුරේ යන්නේ.ආයෙත් කුලේ ගාවට එනවා. එක දවසක්
ආච්චි ආපු වෙලාවෙ කුලේට තදවෙලා අඩුවක් ඇරගෙන දත ඇදලා ගලවලා දැම්මා. ආච්චිට
හරි සතුටුයි. ආච්චි කඩමන්ඩියට ගිහිල්ලා ඔක්කොටමකිව්වා දොස්තර මහත්තයා දත්
ගලවනවා කියලා.එදා ඉදලා පදවි පරාක්රමපුර මිනිස්සුන්ගේ දත් දොස්තරත් කුලවංශ.
දතේ කතාව හින්දා කියන්න ගිය දේත් අමතක උනා. කුලවංශ යි රෝයි යි පදවියේදී
හොදට Private Practice කරපු හින්දා කාර් දෙකකුත් ගත්තා. රෝයි Suzuki 800
එකක්, කුලවංශ අලුත්ම Mitshubishi ලාන්සර් GLX එකක්. ( ඒ කාලෙ තිබ්බ හොදම
කාර් එකක්) රොයි නම් මාරුවෙලා එනකොට කාර් එක අනුරධපුරේට ගෙනාව. කුලවංශ
එයාගෙ කාර් එක කුලියාපිටියෙ එයාගෙ මහ ගෙදර තිබ්බා. අපි පාවිච්චි කලේ රොයි
ගෙ Suzuki 800 එක.. මම තමයි ඒක හුග වෙලාවට එලෙව්වේ. මට තිබ්බෙ වාහන උන. හිත
තිබ්බෙ කුලේගෙ ලාන්සර් එක ගැන. හීනෙනුත් පේනවා තිබ්බ නම් ඒක එලවනවානේද
කියලා හිතෙනවා. ඉතින් මම හැමතිස්සෙම කුලේට කරදර කරනවා කාර් එක ගේමු කියලා.
මුලදී බෑ කිව්වත් පස්සෙ මගෙ කරදරේ හින්දාම කැමති උනා කාර් එක ගේන්න.
ඔන්න ඉතින් එක දවසක කාර් එක ගේන්න කුලියාපිටියේ යන්න පිටත් උනා.හවස
වැඩකරලා පිටත්වෙලා නිකවැරටියට යනකොට හවස 6.30 විතර ඇති. බඩගින්නකුත්
තිබ්බා.නිකවැරටියෙ හෝටලයකින් ආප්ප කෑවා.මම කුලවංශගේ ගෙදර ගෙනියන්න බටර්
කේක් එකක් ගන්න හදනකොටම කුලවන්ශ ඕන නෑ කිව්වා. කාර් එකේ වැඩේ ගැනත් හිතලා
එපා කියද්දීම කේක් එක ගත්තා.කුලවංශගේ ගෙදර යනකොට රෑ 9.00 ට විතර ඇති.
ඒ දවස්වල රටේ හැමතැනම කලබල.කුලියාපිටියේ විශේෂයි.කුලේල හොද එජාප
පාක්ෂිකයො .ඊට ඉස්සෙල්ලා සතියෙ කුලේගෙ ගෙදර ලග හිටපු ඇමති ලයනල් ජයතිලක
වෙඩිතියලා මරලා තිබ්බා.කුලේගෙ අය්යා කුලියාපිටියෙ එක්සත් ජාතික පක්ෂ බල
මන්ඩලයේ ලේකම්.. ඒ හින්දා හිටියේ හුගාක් සැකෙන්. කුලේගෙ තාත්තා අපි ආපු
ගමන්ම ඇගට ගොඩ උනා ඒ වෙලවෙ ආව කියලා.කුලේ කිව්වා මාව පෙන්නලා මෙයා කරදර
කරනවා කාර් එක ඕනි කියලා.උදෙට කාර් එක ගෙනියන්න ඕනි කියලා. තාත්තා වැඩි
කැමත්තක් තිබ්බේ නෑ බලමු කිව්වා.
එතකොට කුලේගෙ අම්මා ආවා. රෑට කෑවද
කියලා ඇහුවා. මම නෑ කියන්නත් ඉස්සෙල්ලා කුලේ කිව්වා ආප්ප කාපු හින්දා දැන්
බඩගිනි නෑ කියලා. මටනම් ටිකක් බඩගින්නකුත් තිබ්බා.ඒත් මොනවා කරන්නද? කුලේගෙ
ගෙදර ඉස්තෝප්පු කාමරය නිදාගන්න ලෑස්ති කරලා දුන්නා. ඒ කාමරයට දොරක්
තියෙන්නේ එලියෙන් විතරයි. ගෙදර ඇතුලට දොරක් නෑ. ඒ හින්දා කුලේගෙ තාත්තා
කිව්වා සද්දයක් එහෙම ඇහුනොත් දොර අරින්න එපා කවුරුවත් නෑ වගෙ ඇතුලට වෙලා
ඉන්න කියලා. ඊට පස්සෙ අපිත් නිදා ගත්තා.
හරි වැඩේ. රෑ 12 විතර
වෙනකොට මට හොදටම බඩගිනියි. ඉන්න බැරිතැන කුලේට කතා කරා. මිනිහා “හෙට උදේ
වෙනකම් ඉවසපන් “ කියලා ආයෙත් නිදා ගත්තා. මොන ඉවසන්නද? බඩගින්න එන්න එන්නම
වැඩි වෙනවා.ආයෙත් කතා කරා කුලේට. කොහොම හරි කැමති කරගත්තා ගෙදරට කතා කරන්න.
හිමින් දොර ඇරලා ඉස්සරහ දොරට තට්ටු කරා..
විනාඩි 10 ක් විතර කතා
කරා.සද්දයක් නෑ. ටික වේලාවකින් පෙනුනා පොල් වත්තේ එහා කොනකින් හෙවනැල්ලක්.
කලබල කාලෙ හින්ද ටිකක් බයක් දැනුනත් ලගට එනකොට අදුනාගත්තා කුලේගෙ තාත්තා
කියලා.තාත්තා පිළිකන්න පැත්තෙන් අල්ලපු ඉඩමට ගිහිල්ලා වටෙන් ආය මොකක්ද
වෙන්නේ බලන්න ඇවිත්.කොහොමහරි ගේ ඇතුලට ගියා. කුලේ විස්තරේ කියලා කන්න මොනාද
තියෙන්නේ කියලා ඇහුවා.
මමත් අතඇරියේ නෑ කිව්වා වැඩිය මොනවාත් එපා
මොනවාහරි රෑට උයලා ඉතුරු ඒවා තිබ්බත් ඇති කියලා. එතකොට කුලේගෙ අම්මා කිව්වා
“අනේ පුතේ වළන් ඔක්කොම හෝදලාත් ඉවරයි ගෙදරත් කන්න කියල්ල දෙයක් නෑ උයලා
දෙන්නද” කියලා. උයනකම් කොහොමද ඉන්නේ? මම අන්තිම තුරුම්පුවත් ගත්තා. "අම්මේ
ඇයි අපි ගෙනාපු බටර් කේක් එක තියනවා නේද" කියලා ඇහුවා,මට දැන් අනිත් අය
කියාපු දේවල් මතක නෑ, ඒත් කුලයගේ මූන නම් අබ ඇටයක් දැම්මනම් පුපුරන්න තරම්
කේන්තියෙන් හිටිය කියලා මතකයි. කේක් ගෙඩිය හතරට කපලා ගෙනත් දුන්නා.මම
හතරෙන් එකම කාල නිදා ගත්තා.
උදේ හතරට විතර කුලයා මාව ඇහැරවලා ආපහු
අනුරධපුරේ යන්න ලෑස්ති වෙයන් කියලා කිව්වා. ඒත් මම කිව්වා ඇයි මෙච්චර කලින්
කාර් එක ඇරගෙනයන්නේ කියලා. " කාර් එක නෙවෙයි ගෙදර අය ඇහැරෙන්න කලින් වරෙන්
යන්න" කියලා කුලයා ගෙරෙව්වා. අපි ගේට්ටුව උඩින් පැනලා බස් එකක අනුරාධපුරේ
ආවා.
No comments:
Post a Comment