Saturday, July 23, 2016

ගොඩයාගෙ රට ගමන් 2 - මැලේසියාව හා සිංගප්පූරුව (පළමු කොටස)

මමයි නෝනයි තායිලන්තයට ගිහිල්ල ආවට පස්සෙ දුවටයි පුතාටයි රට යන්න ඕන උනා.නෝනටත් තිබ්බ ඕනකම ඒ ගොල්ලො එක්කරගෙන යන්න.මම කිව්වා කොහේ හරි රටකට එක්කරගෙන යන්න බලන්නම්, හැබයි ආයෙ අවුරුදු 5 කට පස්සෙ තමයි ඊලඟ එක කියලා.මොකද ඒ ගොල්ලොන්ට ඉගෙනගෙන හම්බුකරලා ඕනතරම් රට රටවල යන්න පුලුවන් හන්දා.

පොරොන්දු උන හින්දා මමත් ටිකක් විමසිල්ලෙන් හිටියේ. දවසක් නෙට් එකේ ඉන්නකොට දැක්කා Air india Express එක කොලඹ- සිංගප්පූරු ගුවන් සේවාවක් පටන් ඇරගෙන හඳුන්වාදීමක් ලෙස අඩු මිලකට ටිකට් නිකුත් කරනවා කියලා. හොඳට හොයල බැලුවා බදු එක්කද කියලා. 12 න් පහල ලමයින්ට තවත් අඩුයි, නෝනගෙ අක්කයි එයාගෙ මහත්තයයි අපිත් එක්ක යන්න එකතු උනා.ඔක්කොම ටිකට් online . සිංගප්පූරුවට වීසා ඕන නෑ. මැලේසියා වීසා මස්සිනා ගත්තා.

ඉස්සෙල්ලා චෙන්නායි එයාපෝට් එකට පැය 4 ක් Transit. කිසි පහසුකමක් නෑ.පුටු කුෂන් කරාට , යකඩ වාගෙ. තිබ්බ කෑම කඩ දෙකේ තිබ්බෙ වඩේ ටිකකුයි , මොනාද ගුලි ටිකකුයි විතරයි. ආයෙත් වෙන ප්ලේන් එකකට නැගලා සිංගප්පූරුවේ Changi Airport එකට ආව.

Changi තමයි දකුනු ආසියාවෙ ලොකුම හා වැඩිම සෙනගක් යන ගුවන්තොටුපොල. ලෝකයේ හොඳම ගුවන්තොටුපල් වලින් එකක්. හරිම ලස්සනයි. හැම තැනම මල් විසිතුරු පැල වවල.මගීන්ට ඕන හැම පහසුකමක්ම තියනවා, අපි එනවා කියල කිව්වාම කැප්පෙටිපොල අපේ හිතවත් මහත්මයෙක්ගෙ පුතා බුද්ධික අපිව මුනගැහෙන්න ඇවිත් හිටියා. එනකොට රෑ 12 ත් පහුවෙලා හින්දා අපි හිතාගෙන හිටියෙ පැයක් දෙකක් එයාපෝට් එකේ ඉදලා උදේම මැලේසියා යන්න පිටත් වෙන්න . බුද්ධිකව දැක්කෙත් එදා. ඒත් බුද්ධික අපිව එයාගෙ ගෙදරට එක්කරගෙන ගිහිල්ල උදේ තමයි එව්වේ.

සිංගප්පූරුවේ ඉඳල මැලේසියාවෙ ක්වාලාලම්පූර් (Kuala Lumpur) වලට යන්න විධි තුනක් තියනවා, ගුවනින් , බස් එකේ නැත්නම් කෝච්චියේ . අපි ගියෙ කාලෙ තිබ්බෙ ටිකක් පරන කෝච්චි.දැන්නම් නවීන පහසුකම් තියන කෝච්චි තියනවා,ඒකෙ මැලේසියාව හරහා තායිලන්තයේ බැංකොක් වලටම යන්න පුලුවන්, ආගමන විගමන වැඩ කෝච්චියේදිම කරනවා. කොච්ච්යේ යන්න පැය 6 ක් විතර ගියා.නවත්වන්නෙ KL Sentral වල. ඒක් ස්ටේශන් ඒකකට වැඩිය ලොකු මද්යස්ථානයක්.කාර්යාල ,සාප්පු ස්ංකීර්න විතරක් නෙවෙයි තරු 5 හේ හෝටල් පවා තියනවා.එතන ඉදල Taxi එකක නගර මැද තියන අපි ලංකාවේදී වෙන්කරගත් Tune Hotel වලට ගියා.

ඉස්සෙල්ල දවසෙ වටපිටේ ඇවිද්ද. කෑම ගැන කරදරයක් නෑ හෝටලේ
ඉස්සරහම Shopping Mall එකක් තියනවා, මැලේසියාවේ චීන, මැලේ, ඉන්දියන් ජාතීන් හරි හරියට ඉන්න හින්දා Food Court එකේ ඕන ජාතියෙ කෑම. කනවට වැඩිපුර කට්ටිය කරේ ඇවිද ඇවිද කෑම තෝරන එක.

පොඩි අය එක්කරගෙන ගිය හින්දා ඒ ගොල්ලො කැමතියි කියලා හිතෙන දේවල් තමයි වැඩිපුර බැලුවෙ. Petronas Twin Towers එක ඉස්සෙල්ලම බැලුවා. 2004 වනකම් ලෝකයේ තිබ්බ උසම ගොඩනැගිල්ල, කුලුනු දෙක මැදින් 42,42 තට්ටු යා කරල මීටර් 58 ක පාලමක් දාල තියනවා.දවසකට ටිකට් 1200 යි දෙන්නේ, උදේම ගිහින් ගන්න ඕනි.පාලම ගාවට යන්න පුලුවන්. ඒ බිල්ඩිමේම යට තට්ටුවේ තියනවා Aquaria KLCC දැවන්ත මින් මැදුරක්, පොඩි අයට නම් බලන්න හරි ආසයි. දිය යටින් යන්න වීදුරු වලින් හදපු උමගක් තියනවා.උදේ 11.00 ඉදලා රාත්රී 8,00 වෙනකම් ඇරල තියනවා. ඊට පස්සෙ අපි ගිය KL Tower බලන්න. Twin Tower කියන්නෙ විශාල ගොඩනැගිලි සංකීර්නයක්. Kl Tower නම් කුලුනක් විතරයි. විදුලි සෝපානයක මීටර 275 ක් ගියාම වටේටම නැරඹුම් මැදිරියක් තියනවා. මුලු නගරයම බලන්න දුරදක්න හයිකරලා තියනවා. මේ දෙක තුන බලලා ඒ වටේ තියන පාක් වල ඇවිදලා ආපුවාම දවස හරි.

හුගාක් අය මැලේසියාවෙ ගියාම බලන්න යන Genting Highlands බලන්න අපිත් ගියා, Taxi එකකින් KL Sentral වලට ගිහිල්ලා බස් එකක් ගන්න ඕනි. එතනින් පැය බාගෙන් බාගෙට බස් තියනවා, බස් එක පැයක් විතර ගිහිල්ලා කේබල් කාර් පටන්ගන්න තැනට යනවා. එතන ඉදලා ගමන කේබල් කාර් එකේ. කඳු උඩින් මීදුම කපාගෙන යනවා. ඔක්කොටම හොඳ අත්දැකීමක්. ඒකෙ විනාඩි 15 ක් විතර ගිහිල්ලා Genting Highlands එකට බහිනවා.
Gentine කියන්නේ සූදු කෙලින්නන්ට හදපු නගරයක්.මැලේසියාවෙ නීත්යානුකූලව සූදු ගහන්න පුලුවන් එහෙ විතරයි. හැබයි ඒකට මැලේසියා ජාතිකයන්ට යන්න තහනම්. හෝටල් 6 ක් තියනවා. First Hotel කියන එකේ කාමර 6000 ක් තියනවා.පොඩි ලමයින්ට විනෝද වෙන්න වෙනම පාක් එකක් තියනවා. ඒ පාක් වල පොඩි අයට විතරක් නෙවෙයි ලොකු අයටත් විනෝද වෙන්න හුගාක් දේවල් තියනවා, අපේ අයට නම් පාක් එක හරිම ජොලි. හවස් වෙනකම්ම ඉදල එනගමන් Batu Cave කියන ලෝකප්රසිද්ධ හින්දු දේවස්ථානය බලලා ආපහු ආව.

එක දවසක් ලොකු ෂොපින් මෝල් එකකට ගියා, ඇතුලට යන තැනම ගෑනු අය වටවෙලා බලනවා ගෑනු කෙනෙක් තවත් ගෑනු කෙනෙක්ගෙ මූනෙ Cream ගාන දිහා. අපේ නෝනට මදැයි , මූන දානකොටම “Do you want to have a white face “ කියලා නෝනව ඇදලා ඇරගෙන එයාගෙ මූනෙත් ගාන්න පටන් ගත්තා. ගාල ඉවරවෙලා ටිකක් වෙලාවකින් මටත් පේනව මූන සුදුවෙලා වගෙ. නෝන ටියුබ් 3 ක් ගත්තා. ඒකෙ ගහලා තිබ්බේ Face Vanishing Cream කියලා මමත් Address එක ඉල්ල ගත්තා, වැඩේ හරි ගියොත් ලංකාවෙම ගැහැනු අයගෙ මූනු සුදු කරල මටත් ගොඩ යන්න. ලංකාවට ඇවිල්ල දවසක් cream එක ගාන්න පටන් ගත්තා. මූන ටිකක් දනව කිව්ව හින්දා වැඩේ නැවත්තුවා. දෙවනි දවසෙ මූනෙ බිබිලි. “ඔයාගෙ තියන සුද හොදටම ඇති ’’ කියලා මම ඒ cream එක කැලේට වීසි කරා. හරිනම් ඒ ටියුබ් එකට දාන්න ඕන Face Vanish Cream කියලයි.

තවත් දේවල් බැලුවා. මට නම් රටක් බලනවා කියන්නෙ ඒ මිනිස්සුන්ගෙ ඇඳුම්, යන හැටි, කෑම බීම, චාරිත්‍ර, වාරිත්‍ර මෙකී නොකී හැම දේම.ඒව ලියන්නම් වෙන වෙනම පැන්ෂන් ගිය දවසට. කොහොමහරි ක්වාල ලම්පූර් බලලා ආපහු කෝච්චියේ සිංගප්පූරුවට ආව.

No comments:

Post a Comment