Friday, July 8, 2016

මට ලැබුනු හොඳ ස්ටේශන් එක

අනුරාධපුරේ ඉදලා බොහොම අමාරුවෙන් මහනුවරට ආව.හිටපු RDHS ධනසේන හෙට්ටිආරච්චි අපේ මාම අඳුරන හින්ද(ඒ කාලෙ මාරුවීම් කල RD ට CC ඕන ව්දිහට ) හොදම ස්ටෙශන් එකක් දෙන්නම් කියල අංකුබුරට දැම්ම.එයාගෙ ජීප් එකත් මට දුන්න යන්න කියල.
ගියාම ඉස්පිරිතාලෙ තියනවා, ලෙඩ්ඩු නෑ! ලග කඩේ මුදලාලිගෙන් ඇහුවාම කිව්ව දොස්තර මහත්තයයි, දොස්තර නෝනලා දෙන්නයි මරන තර්ජන හින්ද (ඒ කාලෙ ජේවීපී කලබල ) ඉස්පිරිතාලෙ වහලා ගිහිල්ලා සති දෙකක් වෙනවා කියලා. දොස්තර මහත්තය පස්සෙ ජයවර්ධනපුර ඩිරෙක්ටර් වුන SAK ගමගේ.ට්ක වේලාවකින් ගමේ සේවකයෝ දෙන්නෙක් ඇවිත් ඔපිස් කාමරය ඇරලා දුන්න. ලඟ ගෙදරකින් කෑම.දවස් 3 ක් ඔපීස් එකේ හිටිය.පස්සෙ නිල නිවාසයට ගියා.
සතියකින් නෙලුම් විතන ඇවිත් බඩු බාර දුන්න. පස්සෙ DMO කෙනෙක් ආව මෙයා ST ගමගේ. දෙන්න එක නිල නිවාසයෙ හිටියේ. හැමදාම රෑට පාටි, JVP කලබල එන්න එන්නම වැඩියි.පොලීසියේ හිටපු OIC ලා දෙන්නාම බෝම්බ තියලා මැරුනා,ආමි කෑම්ප් එකක් ආව,දැන් දෙපැත්තෙන්ම මරාගන්නවා, ගමගේ නුවර ගෙදර ඉදන් එන්න ගත්ත.දවසක් ඉස්පිරිතාලෙ ලෙඩෙකුගෙ බෙල්ල කපල මරල තිබුන. ඊට පස්සෙ ගමගේ ආවෙ නෑ.ආයෙත් තනියම
කෑම්ප් එකේ කට්ටිය රෑට හන්ටිනුත් යනව.අපිට දඩමස් ගේන්න ගෝලයෙක් ගියවේලාවෙ කතාවක් ගිහිල්ල කෑම්ප් එකේ අය හිත හොද නැතිවුනා.දවසක් ඉස්පිරිතලෙට එන තැන බෝක්කු කනුවල බෙලි හතරයි. කෑම දුන්නගෙදර අම්ම ඇවිත් මට අඬල කිව්ව අදරෑට නම් ඉන්න එපා යන්න කියල.මේ වෙනකොට මිසීලත්, ගොඩක් සේවකයොත් වැඩට එන්නෙ නෑ. බෑග් එකකට සරමක් විතරක් දාගෙන හන්දියට ආව. නුවර බස් නෑ,මාතලේට ඇවිත් ඒ පැත්තෙන් නුවරට ආව.
ඔහොම තමයි හොඳ ස්ටේශන් එක දාල ආවෙ.

No comments:

Post a Comment